පානදුරේ වෙරළට ගොඩ වැදුන තල්මසුන් ගැන සටහනක්
පානදුරේ වෙරළට ගොඩ වැදුන තල්මසුන් ගැන සටහනක්.
මේ සත්වයන් හඳුන්වන්නේ Pilot whales එහෙම නැත්තන් නියමු තලමසුන් ලෙස. Pilot whale අයත් වන්නෙ Globicephala කියන ගනයට. මේ ගනයට අයත් විශේෂ ද්විත්වයක් වර්තමාන සාගරවල දකින්න පුළුවන්. ඒ තමයි G. melas නොහොත් දිගු වරල් නියමු තල්මසුන් සහ G. macrorhynchus නැමැති කෙටි වරල් නියමු තල්මසුන්. ඔය දෙකෙන් කෙටි වරල් නියමු තල්මසුන් තමයි පානදුරේට ගොඩගහලා තියෙන්නේ. තල්මසුන් කියලා නම තිබුනට ඇත්තටම මොවුන් තල්මසුන් නෙමෙයි. Delphinidae කුලයට අයත් ඩොල්ෆින් සතුන් කාණ්ඩයක්. ප්‍රමාණය නිසා whale / තල්මසුන් කියන නම යෙදුවට ඔර්කාස්ලට පස්සෙ ඉන්න විශාලතම ඩොල්ෆින් වර්ගයක් තමයි නියමු තල්මසුන්.
දැන් මේ හාදයො ලංකාව අවට මුහුදේ ඉන්නවා සෑහෙන අතීත කාලෙක ඉඳන්. ඒකට ෆොසිලභවනය වෙච්ච කශේරුකා එහෙම සාක්ෂි විදියට ලැබිලා තියෙනවා.
තල්මස්සු, ඩොල්ෆින්ලා ගොඩගහන සිද්ධියට කියනවා ස්ට්‍රෑන්ඩින්ග් එහෙම නැත්තන් බීචින් කියලා. සිටසියා ගෝත්‍රය ඇතුලේ ඉන්න හැත්තෑවකට අධික මුහුදු ක්ශිරපායින්ගෙන් ස්ට්‍රෑන්ඩින්ග් වලට කප් ගහන්නෙ ඔය පයිලට් වේල් එහෙම නැත්තන් නියමු තල්මසුන්. ස්ට්‍රෑන්ඩින්ග් වෙන්නෙ ඇයි කියන්න ඇත්තටම තාම හොයාගෙන නෑ. ඒක ගැන විවිධ මත තියෙනවා. තල්මසුන් සන්නිවේදනය කරන තරංග රටාවලට ඇතිවන ස්වාභාවික හා මිනිස් බලපෑම් නිසා, අයහපත් කාළගුණය නිසා, දියවැල් නිසා වගේ විවිධ මත ගනනාවක් තියෙනවා. 2017 දි සාම්පුර්වල 20 ක් විතර මේ වගේම ස්ට්‍රෑන්ඩ් වුනා. මතක විදියට ආසන්න කාරණයක් විදියට මම හිතාගත්තෙ එ දවස්වල තිබ්බ කුණාටු ස්වභාවය. මේ සිද්ධියට ඉතින් මොන හේතුවක් බලපාලද කියන්න බැහැ නමුත් ලෝකේ සාමාන්‍යයෙන් වෙන දෙයක්. මේ අවුරුද්දෙ සැප්තැම්බර් 23 මෙයාලගෙ සහෝදර දිගු වරල් නියමු තල්මසුන් 400 විතර ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෑන්ඩ් වුනා. ඒක තමයි ආසන්නතම ජාත්‍යන්තර සිද්ධිය මම දන්න විදියට.
ස්ට්‍රෑන්ඩින්ග් වෙන්න බලපාන හේතුව මොකක්ද කියලා හරියටම කියන්න බැරි වුනාට එහෙම වෙන්න මෙයාලගෙ සමාජ ක්‍රමයත් බලපානව. මේගොල්ලො ඉතාමත් තඳින් සමාජීය ලෙස බැඳුනු පවුල් ඒකක සහ රංචු වශයෙන් ජීවත් වෙනවා. ඉතින් එක්කෙනෙක් ගොඩ ගැහුවොත් ඒ පස්සෙ ගිහින් අනිත් අයටත් ඒ ආනිසංසෙම වෙනවා. තදින් බැඳුන පවුල් සබඳතා තියෙන්න හේතුව වෙන්නෙ ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් විදියට. ලොකු රංචුවක් විදියට ඉන්දැද්දි බාහිර ප්‍රහාර මැඩපවත්වන්න පුළුවන්. සිටසියාවන් බොහෝමයකගෙ ඔය සිද්ධිය තියෙනවා. ඒකම තමයි ඥානන හැකියාවන් අතින් ඉහලින්ම ඉන්න සත්ව කාණ්ඩයක් බවට මේ අය පත්වෙලා ඉන්නෙ. සන්නිවේදනය කපාල ධාරිතාව ප්‍රසාරණය වීමේදි ප්‍රබල බලපෑමක් ඇතිකරන සාධකයක්. අහිංසක සත්තු වුනාට වැඩියෙන්ම කරදර වෙන්නෙත් ඔය පයිලට් වේල්ස්ලටම තමා. ස්ට්‍රැන්ඩින්ග් වෙනවා ඇරෙන්න ඩෙන්මාර්කයට අයත් ස්වයං තීරණ සහිත දූපතක් වන ෆැරෝ දූපතේ වාර්ශිකව ඝාතනයට ලක්වෙන්නෙත් මෙයාලවම තමයි.
වාසනාවකට වගේ පානදුරේට ගොඩගහපු අය සේරම මුහුදට යැව්වා කියලා ආරංචි වෙනවා. සාමාන්‍යයෙන් ස්ට්‍රෑන්ඩ් වුනාම මීට වඩා විශාල ශරීර තියෙන තල්මසුන්ට ගුරුත්වය නිසා හානි සිදුවෙනවා. ගොඩබිමේදි අභ්‍යන්තර අවයව තැලිලා, පීඩනයට ලක්වෙලා තමයි ප්‍රශ්න වෙන්නෙ හැබැයි පයිලට්ස්ලට ඒ ප්‍රශ්නෙ ලොකුවට නෑ. කළමනාකරනය කරගන්න පුළුවන් සයිස් එකක්. ස්ට්‍රෑන්ඩ් වුනාම මේ ජාතියට වෙන ලොකුම ප්‍රශ්නෙ තමයි වෙරලෙ ඉන්දැද්දි රළ ආපස්සට ගියාම බොඩි ශේප් එක නිසා බඩ පැත්ත බිමට තියාගෙන ඉන්න බැරිවෙන එක. එතකොට වෙන්නෙ දඟලලා පැත්ත ගහනවා. මෙහෙම පැත්ත ගහද්දි වැරදිලාවත් නාස් විවරය, නැත්තන් බ්ලො හෝල් එක තියෙන පැත්ත යටවුනොත් හරි,යන්තන් වතුර තියෙද්දි ඒ පැත්ත හැරුනොත් හරි හුස්ම ගන්න අපහසුවෙන එක සිද්ධ වෙන්නෙ. ඒ ඇරෙන්න රස්නෙ කාලෙක දවල් වරුවක ස්ට්‍රෑන්ඩ් වුනොත් හීට් එක වැඩිවෙලා එක්හෝස්ට් වෙන්න පුළුවන්. මන් දන්නෑ දැන් ආපසු යවපු අයගේ තත්වය මොකක්ද කියලා නමුත් ඇතැම් අවස්ථා තියෙනවා එහෙම යැව්වම ආයේ රිපීට් ස්ට්‍රෑන්ඩ් වෙන. කොහොම වුනත් ඒ කාර්ය සිදුකරපු අයට ස්තූති !
-Don Supz-
