ad

Breaking News

සුවසැරිය ගිලන්රථයක් තුළ දරු උපතක් සිදු වෙයි

 

සුවසැරිය ගිලන්රථයක් තුළ දරු උපතක් සිදු වෙයි.

මේ දිනවල පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සුවසැරිය ගිලන් රථ සේවාව ප්‍රශංසනීය මෙහෙවරක් ඉටුකරනු ලබනවා.කොවිඩ් ක්‍රියාන්විත කාර්යයන් වලට අමතරව දෛනික කාර්යයන්ද 1990 සුවසැරිය හරහා සිදුවනවා.ඒ අතරින් සුවසැරිය ගිලන්රථයක් තුළ සිදු වූ දරු උපතක් පිළිබඳව Facebook ජාලයෙන් පහත සටහන අප ඇස ගැටුණා.

“අද උදෑසන මා විමතියට පත් කරමින් 1990 සුවසැරිය සේවයේ රවිඳු මහතා ගිලන් රථයකින් පිටතට පැමිණියේ දෑතින් ගත් අලුත උපන් කුඩා බිළිඳෙකු ද සමගයි .මා ඔහු අසලට ගොස් සිදු වූ දෙය විමසන විට ඔහු මෙසේ පිලිතුරු දුන්නේ ය.

“මිස් අපි මේ දැන් ඩිලිවර් එකක් කළා , මේ ඉන්නේ බබා , අම්මා ඇම්බියුලන්ස් එකේ ඉන්නවා. අපිට කෝල් එකක් ආවා ගැහැනු කෙනෙක් අමාරුවෙන් ඉන්නවා කියලා , සමන්ත අයියයි මමයි ගිහින් බලද්දි ඒ අම්මාට දරුවා හම්බ වෙන්න ළං වෙලා තිබිබේ . අපේ මේ අත් දෙකෙන් තමා බබාව ගත්තෙ මිස්.”

පසුව මව සහ කුඩා බිළිඳා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ වාට්ටු අංක 17 වෙත යොමු කෙරුණි.

කොරෝනා වසංගතය පැතිරී තිබෙන මෙවැනි මොහොතක මවට කොරෝනා රෝගය වැලඳී තිබෙනවා ද නැති ද යන්න හෝ නොදැන ඉදිරිපත් වී තමන්ගේ දෑතින්ම ප්‍රසූත කටයුතු සාර්ථකව නිම කළ 1990 සුව සැරිය සේවයේ සමන්ත මහතා සහ රවිඳු මහතා යන මොවුන් දෙදෙනාගේ මෙම කටයුත්ත ඉහළින් ම අගය කිරීමට ලක් විය යුතුය.එමෙන් ම කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි කාලයක 1990 සුවසැරිය සේවයේ සියලු දෙනා සිදු කරන වටිනා සේවය ද ඇගයුමට ලක් කළ යුතුමයී.

– කළුබෝවිල රෝහලේ හෙද නිලධාරිනියක් තැබූ සටහනක් මෙලෙස උපුටා ගන්නා ලදී –

මෙම සේයාරූ දෙකද අදාළ සටහනේ පළකර තිබුණා. 

(සටහන - Colombo Times)