ad

Breaking News

COVID – 19 අන්තර්ජාලය තුළත් පැතිර යයි


කොවිඞ් – 19 වෛරසය ප්‍රයෝජනයට ගනිමින් රහස්‍ය දත්ත සොරකම් කිරීම සහ කප්පම් මුදල් උපයා ගැනීමේ චේතනාවෙන් සයිබර් ප්‍රහාර දියත් කිරීමේ කුමන්ත්‍රණයක් මේ දිනවල ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

සයිබර් අපරාධකරුවන් විසින් නොයෙකුත් මෘදුකාංග බෙදා හැරීම සඳහා එම කුමන්ත්‍රණය අන්තර්ජාලය හරහා දියත් කරන බවයි එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා ප්‍රකාශ කළේ. කොවිඞ් -19 වෛරසයේ ස්වභාවය හේතුවෙන් එම වයිරසය පිළිබද සෑම තොරතුරක්ම අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ වේගවත් අවධානය දිනාගෙන තිබෙනවා.

වෛරසය සම්බන්ධයෙන් නවතම තොරතුරු ඊමේල් මගින් දැනුවත් කිරීමේ මුවාවෙන් බලයලත් මහජන සෞඛ්‍ය ආයතනයක් සේ පෙනී සිටිමින් සයිබර් අපරාධකරුවන් අදාළ කුමන්ත්‍රණයෙහි නිරත වන බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙන්නේ.

ඒ අනුව මෙවැනි ඊමේල් පණිවිඩ සැලකිය යුතු සංඛ්‍යාවක් ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන්ට ලැබී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව රජීව් එම සංගමය සඳහන් කළා. කෙසේ වෙතත්, කොවිඞ් – 19 වෛරසය සම්බන්ධයෙන් ඊමේල් පණිවුඩයක් ලැබුණහොත් එම පණිවිඩය විවෘත කිරීමට යාමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.