ප්‍රදීප් නිලංග දෑලට එරෙහිව CIDයට පැමිණිල්ලක්...
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පසුගිය පාලන සමයේ සිදුකළ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන ශෂික දිසානායක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.අද (08) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2005 වසරේ සිට මේ වසර දක්වා අවුරුදු විස්සක් තුළ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සෙවීමේදී දළදා මාලිගාවේ රත්තරන් පිළිම 28ක්, සමන් දේවාලයේ රත්තරන් කිලෝ 38ක් අතුරුදහන් වීම සහ පින්නවල අලි අනාථාගාරයේ ඇත් පැටවුන් දෙදෙනෙක් පැහැර ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු බවයි.මානව හිමිකම් කොමිසම් සභාවේ ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති නමුත් පසුගිය පාලන කාලයේ ඒවා යට ගසා ඇති බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ශෂික දිසානායක මෙහිදී අවධාරණය කළා.
එමෙන්ම දළදා මාලිගාවේ තිබූ රත්තරන් සොරකම් කර ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මිණි කූපර් කාර් රථයේ අංගෝපාංග සාදා ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.මීට අමතරව මොහුගේ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීමේදී “කපටි උපාසකයා” නමින් පොතක් සොයා ගත් බවත් දියවඩන නිලමේවරයා දූෂණ වංචා කර ඇත්තේ කෙසේද යන්න එහි සඳහන්ව ඇති බවත් ශෂික දිසානායක පවසනවා.කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශයට පැමිණිලි ඉදිරිපත් කර බවට පවසමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ දන්ත ධාතූන් වහන්සේ ජපානයට විකුණා ඇති බවටද කරුණු සහ සාක්ෂි මෙම පොතෙහි සඳහන් වන බවයි.
“මේ වෙනකොට 2005 ඉඳලා මේ වෙනකන් ඉන්නේ නිලංග දෑල කියලා පුද්ගලයෙක් තමයි දියවඩන නිලමේ තනතුරු හොබවන්නේ. හැබැයි 2005 ඉඳලා 2025 වෙනකම් අවුරුදු 20ක් ගිහිල්ල තියෙද්දිත් එයා මොනවද කරලා තියෙන්නේ කියලා අපි ටිකක් හොයාගෙන ගියා.
එතකොට අපිට හම්බවෙච්ච කාරණා වගයක් තිබ්බා දළදා මාලිගාවේ තිබ්බ රත්තරන් පිළිම 28ක් අතුරුදහන් වීම සම්බන්ධයෙන්. ඒ වගේම සබරගමුව සමන් දේවාලයේ මෙයා නිලමේවරයා විදිහට ඉන්න කාලේ රත්තරං කිලෝ තිස් අටක් අතුරුදහන් වීම සම්බන්ධයෙන්. ඒ වගේම පින්නවල අලි අනාතාගාරයෙන් අලි පැටව් දෙන්නෙක් ගේන්න කියලා තියෙන කොට ඇත් පැටව් දෙන්නෙක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.මහින්ද රාජපක්ෂගේ කාලයේ රජයේ රක්ෂිත වලින් ගෙනාව ඇත් පැටවු. එහෙම ගෙනාපු ඇත් පැටියෙක් මෙයාගේ වලව්ව පිටිපස්සේ තියෙන කම්බ දොළේ බැඳලා හිටියා. ඊට පස්සේ ඒ ඇත් පැටිය රෑ වතුර ඇවිල්ලා මැරිලා ගියා.හැබැයි එක එයා වහන්නත් හරි සූක්ෂම වුණා.
අපි මේ වෙනකොට අපරාධ විමර්ශන අංශයට මේ වෙනකොට පැමිණිලි කරලා තියෙනවා. ගිහිල්ලා හාරලා බලන්න පුළුවන්.ඒ ඇත් පැටියා ඇත්තටම කොහොමද මැරුණේ කියලා හොයන්න පුළුවන්.අපි මේ සම්බන්ධව හොයාගෙන යනකොට පොතකුත් හම්බුනා.කපටි උපාසකයා කියලා.ඒ පොතේ හරි ලස්සනට තියෙනවා මෙයා කොහොමද ඒ දූෂණා වංචා කරලා තියෙන්නේ කියලා. මෙයාට මානව හිමිකම් කොමිෂන් සභාවේ දාලා තියෙනවා පැමිණිලි ඒවා ඔප්පු වෙලා තියෙනවා හැබැයි එයා ඔප්පුණු හැම දෙයක්ම පහුගිය පාලන සමයන් වල යට ගහලා තියෙනවා.”
