"ගෝඨාගෝගම" හා "මයිනාගෝගම" නිරායුධ අරගලකරුවන්ට පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ ඇයි
"ගෝඨාගෝගම" හා "මයිනාගෝගම" නිරායුධ අරගලකරුවන්ට පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ ඇයි - රුවන් විජයවර්ධන
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ගෝටාගෝ ගම ට පහසුකම් හා අවශ්‍යතා ලබාදීම වෙනුවෙන් පත්කළ කමිටුවේ ප්‍රධානියා වන හිටපු අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා විසින්, පොලිස්පති ට යවන ලද ලිපිය.
පොලිස්පතිතුමනි,
නිරායුධ අරගලකරුවන්ට පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳවයි.
"ගෝඨාගෝගම" හා "මයිනාගෝගම" නිරායුධ අරගලකරුවන් පිරිසකට ඉකුත් 09 දා එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසුව රට පුරාම ප්‍රචණ්ඩකාරි තත්ත්වයක් උද්ගත විය. එයින් පසු පෞද්ගලික හා රාජ්‍ය දේපළ රැසක් විනාශ වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුලු ජීවිත 09 ක් රටට අහිමි විය.
එම අවස්ථාවේ අරගලකරුවන්ට එල්ලවූ ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔබතුමා විසින් පත් කරන ලදී. එසේම නීතිපතිතුමා ද ප්‍රහාරය ගැන විමර්ශනයක් කොට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබාදී ඇති බවට මාධ්‍ය ද වාර්තා කර තිබුණි.
සියළු කාරණා එසේ තිබියදී අරගලකරුවන්ට පහරදීමට පැමිණි හෝ පහරදුන් ප්‍රධාන පුද්ගලයන් කිසිවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවට වාර්තාවේ. එදින ඇති වූ ප්‍රචණ්ඩත්වයට වගකිවයුතු සැකකරුවන් ගණනාවක් නම් කරමින් කොටුව අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ද ගොනු කර තිබේ. එවැනි වකවානුවක ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් පමණක් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව සඳහන් කරමි.
නිරායුධ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට ද පසුගිය දිනෙක ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රසිද්ධ කාරණයකි. එම සිද්ධියට සම්බන්ධ ප්‍රහාරකයන් පැය කිහිපයක් තුල අත්අඩංගුවට පත්වූ අතර, එම මෙහෙයුම සම්බන්ධයෙන් පොලීසියේ කාර්යක්ෂම සේවය අගය කරමි.
එහෙත්, නිරායුධ අරගලයට පහරදීමේ සිදුවීමට දින ගණනාවක් ගත වී ඇතත් ඊට සම්බන්ධ එක් අයෙකු පමණක් අද (15) උදෑසන ගත්ත ද අනෙක් ප්‍රධාන සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වීම අතිශය කණගාටුදායක තත්ත්වයකි. මහජනතාව ද මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසු වේ.
ගෝඨාගෝගම අරගලකරුවන් හා සාකච්ඡා කරමින් විසඳුමක් සෙවීමට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මා වෙත පුළුල් වගකීමක් පවරා ඇති අතර, මෙම සිදුවීමට අදාල ප්‍රධාන සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට හේතු මෙන්ම අදාල විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව ද කඩිනමින් කරුණු හෙළි කරන ලෙස දන්වා සිටිමි.
එමෙන්ම නිරායුධ අරගලකරුවන්ට පහරදීමෙන් පසුව රට පුරා උද්ගත වූ සිද්ධීන්ට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත් අයුරින්ම, එම නිරායුධ අරගලකරුවන්ට පහරදුන් සැකකරුවන් සියල්ලන් ද අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කාර්යක්ෂමව හා විධිමත්ව පවත්වාගෙන යන ලෙස ද ඉල්ලා සිටිමි.
රුවන් විජයවර්ධන
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක.
