ad

Breaking News

ජනපතිවරණයට කලින් දා තරුණ සේවා සභාපති කෝටි 19ක චෙක් දිලා...

 

ස්මාර්ට් යූත් (Smart Youth) ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 188ක පමණ චෙක්පත් අක්‍රමිකව ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වි තිබෙනවා.මෙම ගනුදෙනුවට තරුණ සේවා සභාවේ සභාපතිවරයා බලපෑම් කළ හේතුවෙන් වියදම් සහතික කළ බවත් එසේ නොකළා නම් නිලධාරීන් ලෙස තම කණ්ඩායම මාරු කරාවි යැයි බියෙන් එය සහතික කළ බවත් කාරක සභාවේදී නිලධාරීන් පැවසු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රුපියල් මිලියන 100ක් පමණ මහ භාණ්ඩාගාරයෙන් ලැබුණේ ජනාධිපතිවරණයට පෙරදින සවස බවද එහිදී නිලධාරීන් පෙන්වාදී තිබුණා.එහිදී කාරක සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මුදල් හිටපු ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වෙනුවෙන් වියදම් කළ බව පැහැදිලිව පෙනෙන්නට ඇති බවයි.කෙසේ නමුත් රාජ්‍ය නිලධාරීන් තමන්ට පැවැරුණු කාර්යභාරය නිවැරැදිව පෞරුෂයක් සහිතව ඉටුකළ යුතු බවට කෝප් සභාපතිවරයා අවධාරණය කළ අතර මේ පිළිබඳ ප්‍රශ්න කර විමර්ශනය කිරීමට ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවීමටද තිරණය කර තිබෙනවා.

මෙම චෙක්පත් සඳහා හිටපු සභාපතිවරයා අත්සන් කොට ඇත්තේ මෙම ගෙවීම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව නිලධාරීන්ට බලපෑම් කරමින් 2024 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයට පෙර දින බවත් මෙහිදී හෙළි වි තිබුණා.මෙහිදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි (වෛද්‍ය) නිශාන්ත සමරවීර පෙන්වා දුන්නේ, මෙය ඉතා සංවේදී කරුණක් බවත් රාජ්‍ය නිලධාරීන් බිල්ලට දී ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා මුදල් අවභාවිතකොට ඇති බව ත් ය.

මෙම සියලු තොරතුරු අනාවරණය වූයේ ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් (පෞද්ගලික) සමාගමේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා වර්තමාන කාර්ය සාධනය සහ 2021 නොවැම්බර් 16 වන දින පවත්වන ලද ‍පොදුව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි (වෛද්‍ය) නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පෙබරවාරි 18 පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදි දීර්ඝ වශයෙන් 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 8 කාලය තුළදී ජාතික තරුණ සේවා සභාව විසින් දියත් කරන ලද ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය, ජාතික තරුණ වෙසක් උළෙල, ජාතික තරුණ පොසොන් කළාපය, යාපනය තරුණ හමුව වැඩසටහන, 31 Night Youth Celebration සහ ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත වැඩසටහන වෙනුවෙන් වෙන්කොට තිබූ රු. 538,080,000/= ක මුදල් ප්‍රතිපාදන සහ ඒවා වියදම් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය. මේ අනුව මේ වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ තරුණ අභිවෘද්ධිය වැඩසටහන යටතේ රු. මිලියන 398 ක් පමණ වෙන්කර තිබුණද බිල්පත් වල අඩු පාඩු නිසා එම මුදල් ලබා නොදුන් බවත් මෙහිදී අනාවර්ණය විය.

එසේම වසර මුලදි සැපයුම් කරුවන් ලියාපදිංචි කරන බවත් පසුගිය කාලසීමාව තුළ එසේ නොමැතිව තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අභිමතය පරිදි ඔහු සඳහන් කළ පුද්ගලයන්ගෙන් ලංසු ලබාගෙන අදාළ සැපයුම් සිදු කොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. තවද චෙක්පත් ලබාදීමේදී අදාළ පුද්ගලයා නොපැමිණ වෙනත් පුද්ගලයින්ට ඒවා රැගෙනයාම‍ට අවස්ථාව ලබා දී ඇති බවද මෙහිදී අනාවරණය විය.

මීට අමතරව ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික) සමාගමේ මූල්‍ය විනය පවත්වා‍ගෙන නොයෑම පිළිබඳව සහ අභ්‍යන්තර විගණනයන් නොපැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය. එසේම ජාතික තරුණසේවා සභාවේ ස්ථිර තනතුරු දරන නිලධාරීන් 25 දෙනෙකු ස්ථිර හා තාවකාලික පදනම යටතේ ජාතික තරුණ සේවා සමූපකාර සමිතියේ තනතුරු සඳහා පත් කිරීම සම්බන්ධයෙන්ද, පූර්ව පෙ‍ාදු ව්‍යාපාර කාරක සභාවේ ගෙන ඇති තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

එසේම ගැටලු සහගත තත්ත්වයන් රැසක් පැහැදිලි වන බැවින් ජාතික තරුණසේවා සභාව, ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික) සමාගම සහ ජාතික තරුණ සේවා සමූපකාර සමිතියේ අවශ්‍යතාවය සහ අනෙකුත් සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් කෝප් කාරක සභාවට ලබාදීමට මෙහිදි නිර්දේශ කරන ලදි.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම් මහතා, සමන්මලී ගුණසිංහ, කෝසල නුවන් ජයවීර, සුජීව දිසානායක, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

කර්තෘ සටහන – පාර්ලිමේන්තු සන්නිවේදන අංශය විසින් මෙසේ කොප් කමිටුව හමුවට කැඳවා ඇති සභාපතිවරයකුගේ නමක් සඳහන් නොවෙතත්, ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය පැවැති හා අවසන් ජනපතිවරණ සමයේ එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ 25 හැවිරිදි සිවිල් ඉංජිනේරුවෙකු වන පසිඳු ගුණරත්නය. මේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට ද චෝදනා එල්ලවී තිබේ.